පටිසම්භිදාමග්ගප්පකරණ(1)of Buddha Jayanthi Tipitaka Series
මනුෂ්‍යයන්ගේ ජීවිතකාලය ඉතා ස්වල්ප වේ. මරණයට හේතු වූ උපද්‍රවයෝ රෑ දවල් දෙක්හි නිරතුරුවම පැමිණෙත්. තම ශරීරයෙහි හටගන්නා මරණයට හේතු වූ රෝගයෝ ද අප්‍රමාණ වෙත්. අසවල් අය අසවල් අවුරුද්දෙහි අසවල් මාසයෙහි අසවල් දවසෙහි අසවල් මොහොතෙහි මිය යන්නේ යයි කිසිවක්හු විසින් දත නොහැක්කේය. එමෙන්ම අසවල් අය අසවල් තැනදී අසවල් රෝගයෙන් අසවල් කරුණෙන් මිය යන්නේ යයි කිසිවෙකු විසින් දත නොහැක්කේය. තව ද මනුෂ්‍යයෝ අසවල් වයසෙහි මිය යන්නාහ, අසවල් වයසෙහි මිය නොයන්නාහයි නියමයක් නැත්තේය. බාලවූද මහලු වූ ද තරුණ වූ ද සියලු දෙනාට ම මරණය සිදු වේ.