යමක් කමක් ඇති අයට සලකන්නේ ගතිගුණ නිසා නොව වත්පොහොසත්කම් නිසා ය
පසුබිම් කතාව

සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි එකුදාන නම් තෙරුන් වහන්සේ නමක් විසූහ. පිරිසෙන් ඈත්ව, හුදකලාව වෙසෙනු පිණිස උන් වහන්සේ මහ වනයකට වැඩම කළහ. ඒ මහ වන මැද උන්වහන්සේ හැර වෙනත් කිසිවෙක් නොසිටියේ ය. එහෙත් එකුදාන තෙරුන් වහන්සේ සෑම පොහෝ දිනකම දෙවියන් උදෙසා ධර්මය දේශනා කළහ. දෙවියෝ ඒ දහම් ශ්‍රවණය කොට සාධුකාර දුන්හ.
එකුදාන තෙරුන් රහතන් වහන්සේ නමකි. දිනක් ධර්මධර තෙරුන් වහන්සේ දෙනමක් උන්වහන්සේ වෙසෙන මහ වනයට වැඩියහ.
ඒ සමඟ තවත් භික්ෂුන් වහන්සේ දහස් නමක් ද වැඩියහ. එකුදාන තෙරුන් වහන්සේ ඒ පිරිස සතුටින් පිළිගෙන සියලු ඇප උපස්ථාන කළහ. එදා පුර පසළොස්වක පොහෝ දිනකි. මේ නිසා එකුදාන තෙරහු ධර්මධර තෙරුන් දෙනමට දහම් දෙසන ලෙස ආරාධනා කළහ. එවිට ධර්මධර තෙරුන් වහන්සේ
‘ඇවැත්නි, මේ මහ වන මැද කාට නම් බණ කියන්නේ ද?’ යි ඇසූහ.
එවිට එකුදාන තෙරුන් වහන්සේ “ඇවැත්නි! මේ වන මැද දෙසන දහම් ඇසීමට දෙවියෝ පැමිණෙති. ඒ දහම් අසා සාධුකාර දෙති” යි කීහ.
ඒ ඇසූ ධර්මධර තෙරහු ඉතා සතුටින් ආරාධනාව පිළිගෙන දහම් දෙසීමට පටන් ගත්හ. එක් තෙර නමක් පෙළ දේශනා කළ අතර, අනෙක් තෙරුන් වහන්සේ, එහි අර්ථය දේශනා කළහ. එහෙත් ඒ දහම් අසා දෙවියෝ සාධුකාර දුන්නේ නැත. එවිට ධර්මධර තෙරහු, ‘ඇවැත්නි! ධර්මය දේශනා කළ ද දෙවියන් ගේ සාධුකාර හඬක් නම් නොඇසුණේ ය’ යි කීහ. එවිට එකුදාන තෙරුන් වහන්සේ මෙතෙක් දවස් නම් දෙවියන් ගේ සාධුකාර හඬ ඇසුණේ ය යි පැවසූහ.
එවිට ධර්මධර තෙරහු දෙවියන් ගේ සාධු හඬ පිරික්සීම සඳහා එකුදාන තෙරුන්ට ධර්මය දේශනා කරන ලෙස ආරාධනා කළහ. එකුදාන තෙරුන් ගේ ධර්ම දේශනාව අවසානයේ දෙවියෝ සාධුකාර දුන්හ.
බුදුරජාණන් වහන්සේ යථෝක්ත ගාථා රත්නය දේශනා කොට වදාළේ මේ සිදුවීම මුල් කර ගනිමිනි.
යමෙක් බොහෝ කොට ඉගෙන ගෙන අසා ධර්මය දේශනා කරයි ද, එපමණකින් හේ දහම් දරන්නෙක් නොවන්නේ ය. යමෙක් මදක් පමණ හෝ දහම් අසා, ධර්මය දකී නම්, පිළිවෙත් රකී නම් ඒ තැනැත්තා දහම් දරන්නෙක් වේ. යමෙක් නොපමාව රහත් ඵලයට පැමිණීම සඳහා වෙර වඩයි ද ඒ තැනැත්තා ද දහම් දරන්නෙක් වේ යන්න එහි අර්ථයයි.
මේ ගාථා රත්නයට පසුබිම් වූ කතා පුවතින් ද, එහි අර්ථයෙන් ද අප ගේ ජීවිතයට ඉතා අගනා ආදර්ශයක් ලබා ගත හැකි ය. පළමුව අපි ජීවත්වන සමාජය දෙස බලමු. වැඩි දෙනෙක් බොහෝ කොට අධ්‍යාපනය ලබා ගත්තේ වුවද කිසිදු ප්රතිපත්තියක නොපිහිටා ක්‍රියා කරන ආකාරය අපි දකිමු. ඒ උදාහරණයට ගෙන අනුන් නොව තමන් ප්රතිපත්තියෙහි පිහිටා කටයුතු කිරීමට අධිෂ්ඨානයක් ඇති කර ගත යුතුය.
මවුපියන් ගේ උතුම්ම වස්තුව දරුවන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. ජීවිතය ජීවත් කරවන්නට තරම්වත් ශක්තිමත් ආර්ථිකයක් නැතත් ගත වෙර වඩා මුදල් සරිකොට දරුවන් උගතුන් කරන්නට බොහෝ මවුපියවරුන් වෙහෙසෙන්නේ එහෙයිනි. මවුපියන් ගේ බලාපොරොත්තු මල්ඵල ගන්වන දරුවෝ ද බොහෝ වෙති. එහෙත් ජීවිතය ජය ගෙන ඉහළට යන සමහර දරුවන් සිය මවුපියන්ට නොසලක්නේ ය. මේ සමාජයේ ශක්තිමත් මිනිසුන් ලෙස නැඟී සිටින්නට තමන්ට යෝධ ශක්තියක් වූ අම්මා තාත්තා ඔවුන්ට බරකි.
මේ පිරිස් ප්‍රතිපත්ති ගරුක අය නොවන්නේ ය. ගේ දොර යාන වාහන, මුදල් හදල් සපිරි දිවි පෙවෙතක් ගත කළ ද ඔවුන්ගේ ජීවිතය සාර්ථක නොවේ. සමාජයෙන් ලැබෙන ගරු සැලකිලි ද එතරම් යහපත් නොවේ. යමක් කමක් ඇති අයට සමාජය සලකන්නේ ඔවුන් ගේ යහ ගුණවලට නොව වත් පොහොසත්කම්වලටය. නිලයට හෝ බලයට ඇති බිය නිසා ය. ඇප උපකාර ලබා ගන්නට ජනතාව ඔවුන් වටා රොක් වෙති.
ධනය බලය නැති දා තමන්ට ගරු සැලකිලි දැක්වූවන් හෝ තමන් වටා රැඳී සිටින්නේ නැත. එහෙත් ගුණ දහම් හඳුනන, යහපත් චර්යාවෙන් යුතු පුද්ගලයාට එසේ නොවේ. ධනය බලය ඇතත් නැතත් ගුණ දහමට ගරු කරන පිරිස්, යහගුණ දන්නා පුද්ගලයාට සැමදාමත් ගරු කරති. තම වාසිය පිණිස නොව, යහපැවැත්ම නිසා ජනතාව ඔහු හැර නොයති.
අප ජීවත්විය යුතු වන්නේ කෙසේ ද? සමාජයේ ආදරය, ගරු සැලකිලි හිමි පුද්ගලයෙක් බවට පත්වන්නේ කෙසේ ද? තමන් ගැන, අඹු දරුවන් ගැන සොයා බලා කටයුතු කරනවා වගේ ම ඥාති මිත්‍රාදීන්ට, සමාජයට ද ඉටුවිය යුතු යුතුකම්, වගකීම් ඉටු කිරීමෙනි. පෙරළා සමාජයෙන් තමන්ට උපකාර ලැබෙන්නේ එවිටය.
දන් දීම, සිල් රැකීම, ආදි ගුණ දහම් කෙරෙහි අප ගේ අවධානය යොමු විය යුතු ය. විහාරස්ථානය ඇසුරු කරගෙන වත් පිළිවෙත් සුරැකිය යුතු ය.
සිඟාලෝවාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ පුද්ගලයා හා සමාජය අතර ඉටුවිය යුතු යුතුකම් ගැනය. එමඟින් තමන්ගේත් සමාජයේත් දියුණුව ඇති කර ගත හැකි බව උන්වහන්සේ අවධාරණය කළහ. එහෙත් අද යුතුකම් හඳුනන අය දුර්ලභය. තමන්ගේ අයිතීන් වෙනුවෙන් පමණක් හඬ නඟන ඇතැම් අය තමන් විසින් ඉටුකළ යුතු යුතුකම් හා වගකීම් අමතක කරති. සමාජය පිරිහෙන්නේ මෙසේ කටයුතු කිරීම නිසා ය.
‘අත්තා නං උපමං කත්වා...’ සෑම අවස්ථාවක දී ම තමා උපමාවට ගෙන ජීවත්විය යුතු ය. තමන් අකැමැති, නුසුදුසු දෙයට අනිත් අය නොපෙලඹිය යුතු ය. එසේ කටයුතු කරන අය සිටී නම්, ඔවුන් එයින් මුදා ගත යුතු ය.
යහපත් චර්යාවන්ගෙන් යුතු අය ලෙස ජීවත් වීමට ඔවුන් උනන්දු කළ යුතු ය. මේ ගාථා රත්නයට පසුබිම් වූ එකුදාන තෙරුන් මහ වනය මැද දී දහම් දෙසුවේ දෙවියන්ට ය. තමා උදෙසා ලබා දුන් ධර්ම දානයට දෙවියෝ සාධුකාර දුන්හ. එහෙත් පසුව පැමිණි තෙරවරුන් ගේ ධර්මය අසා සාධුකාර නොදුන්හ. ඊට හේතුව කුමක් ද? එකුදාන තෙරුන් වහන්සේ ධර්මය දේශනා කරන්නට සුදුස්සෙක් වීමය.
ධර්මයේ පිහිටා, ප්‍රතිපත්තිගරුකව කටයුතු කිරීම නිසාය. අනෙක් තෙරුන් ගේ ධර්මය අසා දෙවියන් සාධුකාර නොදුන්නේ උන්වහන්සේ ධර්මය දේශනා කරන්නට නුසුදුසු වීම නිසා ය. ධර්ම ප්‍රතිපදාවෙහි පිහිටා කටයුතු නොකිරීම නිසා ය. ප්‍රතිපත්තිගරුක පුද්ගලයාට වැඩි කතාව අවශ්‍ය නැත. ඔහු ගේ ක්‍රියාවෙන් ම ඒ බව ඔප්පු වේ. තමන් ප්රතිපත්තියෙහි පිහිටා කටයුතු කරන්නේ නම් සමාජය ඉදිරියේ තමන් ගැන අනවශ්‍ය වර්ණනා කළ යුතු නැත. සමාජය විසින් ම ඔහු වර්ණනාවට ප්‍රශංසාවට භාජනය කරන්නේ ය.
සමාජයෙන් පැසසුම් ලබන්නට විය පැහැදම් කිරීම ඇවැසි නැත. දින සති ගණන්, වෙහෙස වී වැඩ කළ යුතු ද නැත. මහා දාන මාන කළ යුතු ද නැත. කෙනෙක් ප්‍රාණඝාතයෙන් වැළකී සිටින්නේ නම්, අනුන් ගේ දේ සොරකම් නොකරන්නේ නම්, කාමය වරදව නො හැසිරෙන්නේ නම්, බොරු නොකියන්නේ නම්, සුරාවෙන් තොර නම් හේ තමන්ට මෙන් ම අනුන්ට ද බරක් නැති පුද්ගලයෙකි. ඔහුට සමාජයෙන් පැසසුම් ඉල්ලීම අවැසි නැත.
ඔහු ගේ ක්‍රියාව සමාජය අනුමත කරයි. වචනය විශ්වාස කරයි. බිය සැක නැතිව ඔහු සමඟ ඕනෑම කාර්යයකට පැමිණේ. පොදුවේ ඔහු ගැන පූර්ණ විශ්වසනීයත්වයක් ඇති වේ. එමඟින් පුද්ගල සංවර්ධනය ඇතිවේ. සමාජ සංවර්ධනය ඇතිවේ.
එහෙත් වත්මන් සමාජයේ පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරන අය විරලය. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත් සැබෑ බෞද්ධයා නම් බුදුරජාණන් වහන්සේ ගිහියාට අනුදැන වදාළ පංචශීල ප්‍රතිපදාවෙහි පිහිටිය යුතු ය.
නිවැරැදි දේ නිවැරැදි ලෙස දකින්නට යහපත් දේ යහපත් ලෙස දකින්නට, වරද වරද ලෙස තේරුම් ගැනීමට හැකියාව ඇත්තේ විය යුතුය. ධාර්මික සමාජයක් නිර්මාණය කළ හැකි වන්නේත්, සමාජයෙන් ගරු පැසසුම් ලබන නිවැරැදි පුද්ගලයකු විය හැකි වන්නේත් එවිටය.
සියනෑ - අලුත්කූරු දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක,
මහර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී,
සූරිගම ශ්‍රී නාගාර්ජුන මහ පිරිවෙන් පරිවේනාධිපති,
රාජකීය පණ්ඩිත ගිරාකඩුවේ සද්ධාතිස්ස නා හිමි
සාකච්ඡා කෙළේ රමණී සුබසිංහ
Source: www.silumina.lk